Wednesday, April 4, 2018


කුරුල්ලන්ට මඟ කිය­මින් පිය­ඹන ක්‍රිස්ටියන්



ඉතා හොඳ කාලගුණයක් පවතින දිනයක සැන්දෑ අහස දෙස බලා සිටිනා බොහෝවිට නායක කුරුල්ලකු පසුපස හී තුඩක හැඩයට පියඹා යන කුරුලු රංචු දැකගත හැකියි. මේ වගේ කුරුලු රංචුවක් සමඟින් පියඹා යන්නට ඔබට අවස්ථාවක් ලැබුණොත් නැවත වරක් නොසිතාම ඔබ එම අවස්ථාව ලබා ගන්නවා නොඅනුමානයි. එහෙම පියඹායන්නට හැකියාව ලැබුණහොත් අප කවුරුත් දුර පළාත් වලට සංචරණය වන කුරුල්ලන් රංචුවක් මෙන් බොහෝ විට ගමන් කරාවි. අද අතැඹුල විශේෂාංගයෙන් ඔබට කියන්නට යන්නේ කුරුල්ලන් රංචුවක් සමඟ පියඹා යන්නට අප මවන සිහිනය ඇත්තෙන්ම සිහිනයක් නොවන බව කියන්නටය. ප්‍රංශයෙන් ඇසෙනා මෙම පුවතට අනුව කුරුලු රංචුව තම මව පසුපස යනවා යැයි සිතා පියඹා යන්නේ ඉතා කුඩා සැහැල්ලු ගුවන් යානයක ගමන් ගන්නා එහි නියමුවා පසුපසිනි. ‘කුරුලු මිනිසා’ යන අන්වර්ථ නාමය ලැබී තිබෙන මෙම නියමුවා නිසා දැන් ඔබට පවා කුරුලු රංචුවක් සමඟ පියාසර කිරීමේ අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.


58 හැවිරිදි ක්‍රිස්ටියන් මොලෙක් (Christian Moullec) ප්‍රංශයේ කැන්ටල් ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයෙකි. දිනෙන් දින ගහණය අඩුවී යන දුර්ලභ පක්ෂීන්ව රැකබලාගෙන ඔවුන්ව ආරක්ෂා සහිත ලෙස සංචරණ මාර්ග වලට යොමු කිරීම මොහු ආරම්භ කර තිබෙන්නේ 1995 වසරේදීයි. එතැන් පටන් ඔහුගේ මුළු ජීවිතයම ඔහු කැප කර තිබෙන්නේ වඳවී යාමට ආසන්න වී සිටින මෙම කුරුලු විශේෂ ඇතිකිරීමට හා ඔවුන්ව පුහුණු කිරීමටයි. ඔහු පවසන ආක­ාරයට මෙලෙස ඔහු සමඟ පියාසර කිරීමට මෙම කුරුල්ලන්ට පුහුණු කිරීම ඉතාමත් කාලය වැයවන හා වෙහෙසකර ක්‍රියාවකි. මේ නිසාම ඔහුගේ මෙම අත්දැකීම අන් අය සමඟින් බෙදා ගැනීමට තමන් ඉතාමත් ආසාවෙන් පසු වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔහු ලෝකයේ ම ප්‍රසිද්ධ වීමට ආරම්භ වූයේද ඔහුගේ මෙම කුරුල්ලන්ට මඟ පෙන්වීමේ ක්‍රියාව නිසා නොව ඔහු සමඟ ගමන් කරනා සංචාරකයන් ලබා ගන්නා දර්ශනීය ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වීම නිසායි. මේ නිසා කුරුලු මිනිසා සමඟින් පියාසර කිරීමට ලොව වටෙන්ම සංචාරකයන් ඔහු වෙත පැමිණෙයි. පැය 15ක පමණ ගුවන් ගමනක් ගෙවා ක්‍රිස්ටියන් සමඟින් පැය බාගයක් කුරුල්ලන් සමඟ පියාසර කිරීමට තරම් මිනිසුන් මෙයට උනන්දු වන්නේ ජීවිත කාලයටම මෙවැනි අත්දැකීමක් ලබාගැනීමට නොහැකි නිසායි. ක්‍රිස්ටියන් තම සංචාරකයින්ට කුරුල්ලන් පියඹා යන විට ඔවුන්ව අතගෑමටද අවස්ථාව ලබාදෙයි.

විශේෂඥයකු පවසා තිබෙන්නේ කුරුල්ලන් බිත්තරයෙන් එළියට ආ පසු දකින පළමුවන චලනය වන දෙය ඔවුන්ගේ මව යැයි සිතා එය අනුව ක්‍රියා කරන බවයි. ක්‍රිස්ටියන්ද මෙම කුරුල්ලන්ව මවක් මෙන් රැකබලා ගන්නා අතර ඔහු අවසානයේ සඳහන් කර තිබුණේ “මගේ කුරුල්ලන් සමඟ පියාසර කරන සෑම දිනකම මගේ දෑසට කඳුළු එනවා” යනුවෙනි.

No comments:

Post a Comment

  தேசிய கல்வி நிறுவகத்தின் பாரம்பரிய மற்றும் வெளிநாட்டு மொழிகள் பிரிவின் ஊடாக அரபு மொழிப் பாடத்திற்கான மொடியூல் தயாரிக்கும் செயற்திட்டத்திட...